හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

6

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මාර්තු 13 වනදා දක්වා ඉවත්කරන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුවයි.

දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.

ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී ඇති බවයි.

එබැවින් අදාළ කාල සීමාව සඳහා මේ වන විට අධිකරණය මගින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසයි හෙතෙම ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විසින් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු 13 වනදා තෙක් ලිහිල් කිරීමට නියම කළා.

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනයට අදාළව වීරතුංග මහතාට ඇප ලබා දීමේදී ඔහුගේ විදේශ ගමන් අභියාචනාධිකරණය විසින් තහනම් කිරීමට කටයුතු කළා.

Your Comments