සිංහරාජයේ කෘමී ජාවාරමට ඉතිහාසගත දඩයක්

20

සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතය තුළ වන සතුන් එක් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනාට රුපියල් එක් කෝටි අට ලක්ෂ හතලිස් දහසක දඩයක් නියම කර තිබෙනවා.

ඒ කලවාන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත බලාත්මක වූ 1937 වසරේ සිට මේ දක්වා වනජීවී අපරාධයකට පනවන ලද ඉහළම දඩ මුදල මෙය වන බවයි.

දඩ මුදලට අමතරව මාස තුනක සිර දඬුවමක් ද නියම වූ අතර එය වසර දහයකට අත්හිටුවා තිබෙනවා.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥයින් සිව් දෙනෙකු පෙනී සිටියා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලවාන අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීර මහතා විසින් චෝදනා 37ක් ඇතුළත් චෝදනා පත්‍රයක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබුවා.

ඊයේ (13) පස්වරුවේ රත්නපුර අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළා.

දඩ මුදල් ගෙවිම සහ වරදකරුවන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීම සිදු නොවූ බැවින් විදේශිකයන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

වන සංරක්ෂණ නිලධාරින් ප්‍රකාශ කළේ දඩ මුදල බ්‍රහස්පතින්දා ගෙවන බවට විත්ති පාර්ශවය සඳහන් කළ බවයි.

Your Comments