සාෆිට ‘ත්‍රස්ත ක්‍රියා’ චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ

23

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැදවනු ලැබුවා.

ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ බවට වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ.

ඒ හේතුවෙන් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය ඊයේ දිනයේ දී අවලංගු කළ බවයි ඔහු කියා සිටියේ.

සැකකරුට එල්ල වී ඇති අයථා වත්කම් චෝදනාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටියා.

ෂාෆි වෛද්‍යවරයා විසින් සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළා.

Your Comments