“ශ්‍රී ලංකාවේදීම චන්ද්‍රිකාවක් යැවීම අරමුණයි ” රාවණා – 1 සම නිර්මාතෘ තරිඳු කියයි

36

රාවණා – වන් නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ (26) රාත්‍රියේ, මෙරටට පැමිණියා.

රාවණා – වන් නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ රාත්‍රියේ, මෙරටට පැමිණියා.

හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි NEWS24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

මේ, එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා…

“අපි මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්.
මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්.
මට ගොඩක් සතුටුයි.
අහස දිහා බලනකොට, අපි නිපදවූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල.
අපි තව වසර 5 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවේදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා”

ශ්‍රී ලංකා නාමය ලෝක ඉතිහාසයට එක කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ නිෂ්පාදනය කළ රාවණා 1 චන්ද්‍රිකාව පසුගිය 17 කක්ෂගත කෙරුණා.

ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ.

නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපළෙන් අප්‍රේල් මස 18 වන දා රාවණා 1 අභ්‍යවකාශගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන්.

අප්‍රේල් 19 වැනිදා පස්වරු 6 30 ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවුණා.

රාවණා 1 චන්ද්‍රිකාව ජූනි 17 ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට කක්ෂගත කෙරුණා.

එහිදී කුඩා චන්ද්‍රිකා තුනක් කක්ෂගත කෙරුණු අතර පළමු චන්ද්‍රිකාව නේපාලයට අයත්.

දෙවැන්න ශ්‍රී ලංකාව පළමු වරට නිර්මාණය කළ රාවණා 1 චන්ද්‍රිකාවයි.

තෙවැන්න ජපානයට අයත්.

‘රාවණා 1’ කක්ෂගත කෙරුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින්.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස චන්ද්‍රිකාව නිර්මාණය කෙරුණා.

එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවක්.

දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න නිර්මාණය කරනු ලැබූ එම චන්ද්‍රිකාව පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දුන්නා.

ඉන්පසු ‘රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව පසුගිය අප්‍රේල් 18 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවුණා.

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක්

  • ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම.

මේ අතර, පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දුලානි චාමිකා විතානගේට සහ තරිඳු දයාරත්නට ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය තීරණය කර ඇති බවයි.

Your Comments