වෛද්‍ය ෂාෆිට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි ගණන 110 ක් දක්වා ඉහළට

26

වත්කම් පිළිබද පරික්ෂණයක් සදහා සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතා සම්බන්ධයෙන් අද දිනය වන විට මව්වරුන් 110කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ කුරුණෑගල ශික්ෂණ රෝහල ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක මහතා සදහන් කළේ එම පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන් අතරින් වැඩි සංඛ්‍යාවක් 2008 සහ 2009 අතර කාලයේදී සිසේරියන් සැත්කමට භාජනයවූ මව්වරුන් බවයි.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් ෂාෆිට අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කරනු ලැබුවා.
ඒ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් මෙම පත් කිරීම් සිදුකර ඇති අතර, මසක් ඇතුළත මූලික විමර්ශන වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.
පරිපාලන සේවා නිලධාරී එල්.ඒ. බස්නායක, විශ්‍රාමික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.පී. රත්නසිරි, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ, විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන යන අය මෙම පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වනවා.
කෙසේ වෙතත් අදාළ කමිටුව සම්බන්ධයෙන් තම සංගමයේ අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ කමිටුව තුළින් නිසි විමර්ශනයක් සිදු වනු ඇති බවට විශ්වාස නොකරන බවයි.

Your Comments