වෙන්නප්පුව බෝලවත්තේ අනතුරකින් 6ක් මරුට – තිදෙනෙකුට බරපතල තුවාල

144

කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු රිය අනතුරකින් 6 දෙනෙක් මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අලුයම 3 ට පමණ බෝලවත්ත රංගම්මුල පාලමට පිවිසෙන ස්ථානයේදි හලාවත දෙසට ඉදිරියෙන් ධාවනය වු මාළු ප්‍රවාහන අධිශිතකරණ ලොරි රථයක සුඛෝපභෝගි මෝටර් රථයක් ගැටී අනතුර සිදුව ඇති බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කළා.

මෝටර් රථයේ පිරිස සාදයක් නිම වී නැවත වෙන්නප්පුව උල්හිටියාවට ගමන් කරමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා.

එම ස්ථානයේදිම 4 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු මියගොස් ඇත්තේ මීගමුව රෝහලට ඇතුල් කර සිටියදි.

නම දෙදෙනෙකු රැගත් මෝටර් රථය අධික වේගයෙන් පැමිණ ලොරි රථයේ පිටුපස ගැටී ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ලොරි රථයේ පිටුපස සිරවී සිටි තුවාලකරුවන් සහ මළ සිරුරු පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා.පොලිසිය පැවසුවේ මෘත ශරීර 4ක් මාරවිල රෝහලේ සහ මෘත ශරීර 2ක් මීගමුව රෝහලේ තැන්පත් කර ඇති බවයි.


(නයිනමඩම – චන්දන ප්‍රනාන්දු හා වෙන්නප්පුව රවින්ද්‍ර ලියනගේ)

Your Comments