විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට දින නියම වෙයි

19

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදූකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් නැවත විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
මෙම පෙත්සම ප්‍රථමයෙන් අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කොට අවසන් කර තිබු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් මෙම නඩුව නැවත විභාග කිරීමට තීරණය වී ඇති අතර එම නැවත විභාගය ජනක් ද සිල්වා සහ. නිශ්ශංක බන්දුල කරුනාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ජුලි මස 31 දා පැවැත්වීමට නියමිතයි.
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණා.
එමඟින් සඳහන් කර තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කොට ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් අදාළ වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබුණා.

Your Comments