විමල්ට එරෙහි නඩුවක් මාර්තු 27ට කල්යයි

24

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී යි.

එහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සාක්ෂිවලට අදාල පෞද්ගලික බැංකුවේ පවතින පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට ඉඩ දෙන මෙන් මීට පෙර අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කර තිබුණ ද ඒ සඳහා අවසර දීම අදාල බැංකුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඒ හේතුවෙන් එම පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා අදාළ බැංකුව වෙත විශේෂ නියෝගයක් ලබාදෙන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ බවයි NEWS24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ සාක්ෂි ඇතුළත් අදාල පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශවයට අවසර ලබා දෙන මෙන් අදාළ බැංකුවට නියෝගකර තිබෙනවා.

2010 වසරේ ජනවාරි පළමුවනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවටයි මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

Your Comments