විදුහල්පතිනියකගේ පහරදීමකින් සිසුවියකගේ ඇසකට හානි

71

කොස් කෝටුවකින් පහරදී දරුවෙකුගේ ඇසක් තුවාල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බිංගිරිය කඩිගමුව විදුහලේ විදුහල්පතිනිය, කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව මාරු කර ඇති බව කුලියාපිටිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක සමන් විජේසේකර මහතා පවසනවා.

ඒ දැරියට පහරදීම සම්බන්ධයෙන් කුලියාපිටිය කළාප අධ්‍යාපන කාර්යාලය ආරම්භ කර ඇති විශේෂ පරීක්ෂණය අතර තුරයි.

කුලියාපිටිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක සමන් විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක්
අද (13) දැරියගේ නිවසට හා පාසලට පැමිණ කට උත්තර ලබා ගෙන ඇති අතර දැරියගේ සෞඛ්‍ය වාර්තා ලබා ගැනීමටද පරීක්ෂණ කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

පසුගිය 03 වැනි දින පාසල් කාලය තුළ පහර දීම සිදුව ඇති බව පවසමින් ගම්වැසියන් 12 වන දින විරෝධතාවයක ද නිරත වුණා.

විදුහල්පතිනිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එහි දී ගම්වැසියන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

තුවාල ලැබීම නිසා ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ පදිංචි 12 හැවිරිදි නෙත්මි සමදරා සිසුවියයි.

සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයක නිරික්ෂිකාවක් ලෙස කටයුතු කරන අතරතුර විදුහල්පතිනිය එල්ල කළ කෝටු පහරක් දැරිවියගේ ඇසක වැදී තිබෙනවා.

එහි දී සිසුවිය ඇද වැටුණත් විදුහල්පතිනිය සිසුවිය ගැන සොයා බලා නැහැ.

කෙසේ වෙතත් ගුරුවරියක් මැදිහත්ව දැරිවියට ප්‍රාථමික ප්‍රතිකාර ලබා දී පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබුණා.

එහිදී තවත් ගුරුවරියන් දෙදෙනෙකු වෛද්‍යවරයාට අසත්‍ය ප්‍රකාශයක් ලබා දීමට ක්‍රියා කර තිබුණා.

මේ හේතුවෙන් ලබාදුන් ප්‍රතිකාරය දැරියට විෂ වී ඇති බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

දැරියට නොනවත්වා වමනය යාම හේතුවෙන් සිදුවිම වූ දිනට පසුදින ඇය කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ බව දැරියගේ දෙමාපියන් කළා.

කුලියාපිටිය රෝහලෙන් දැරිය වහා මාරු කර යැවුණේ කොළඹ අක්ෂි රෝහලටයි.

අක්ෂි රෝහලේ දින හතරක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු දැරිය නිවසට ඒවා ඇති අතර මේ වන දැරියගේ පෙනීමේ ගැටළු පවතින බවයි දෙමාපියන් සඳහන් කළේ.

දැරියට තාවකාලික පිළියමක් ලෙස උපැස් යුවලක් පැළදීමට වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙනවා.

විදුහල්පතිනියගේ නොමන ක්‍රියාව හේතුවෙන් ප්‍රදේශයේ දරුවන් වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු පසුගිය තුන්වැනි දින සිට අඩාල වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර ශිෂ්‍යත්ව අමතර පන්ති පැවැත්වීමට යැයි පවසමින් එක් ළමයෙකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් විදුහලෙන් එකතු කර ඇති බවත් ඉහත සිදුවීමෙන් පසු අමතර පන්ති පැවැත්වීම ද නවතා දමා ඇති බවයි දෙමාපියන් පවසන්නේ.

දැරියට පෙනීම ලබා දීම සඳහා සැත්කමක් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇති වෛද්‍යවරුන් ඇසේ තුවාලය තිබීම හේතුවෙන් සැත්කම කළ නොහැකි බවටයි දැරියගේ දෙමාපියනට දන්වා ඇත්තේ.

Your Comments