වන අලි පහරදීමෙන් එකම පවුලේ 3ක් රෝහලේ

30

පලාගල, ගල්කිරියාගම, කරවිලගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට වන අලියකු පහරදීම හේතුවෙන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවලක් සහ එම දෙපළගේ මිනිබිරියක බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගල්කිරියාගම පොලිසිය පැවසුවේ ඊයේ (12) රාත්‍රියේ අනතුර සිදුව ඇති බවයි.

බරපතල තුවාල ලබා ඇත්තේ කරවිලගල ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. ඒකනායක (60), සිරිමා අයිරාංගනී (55), සහ එම දෙපලගේ දියණියගේ වයස අවුරුදු 3ක දියණියක්.

අවුකන ප්‍රදේශයේ දියණියගේ නිවසට ගොස් එන අතරතුර මෙම යුවළ සහ දරුවා අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙම පුද්ගලයන්ට පහර දුන් වන අලියා අලුයම වන තුරුම කරවිලගල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකටම කඩාවැදී දේපල අලාභ හානි කොට ඇතැයි ප්‍රදේශවාසීන පැවසුවා.

වසර ගණනාවක සිට මෙම අලින් විදුලි වැටක් ඉදිකිරීම සඳහා උත්සාහ කළ ද දේශපාලන අධිකාරියේ මැදිහත් වී එය නතර කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කර සිටී.

ප්‍රදේශ සියලු දෙනා ගොවිතැනින් ජීවත් වෙන බවත්, මෙම ප්‍රදේශයේම මීට මාස කිහිපයකට ඉහතදී පුද්ගලයන් කිහිප දෙනෙකුම වන අලින්ගේ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් විශාල පිරිසක් වන අලි ප්‍රහාර හේතුවෙන් ආබාධිත තත්ත්වයේ පසුවන බවද ප්‍රදේශවාසීන පෙන්වා දෙනවා.

කඩිනමින් මෙම ප්‍රශ්න විසඳා නොදෙන්නේ නම් අරගලයකට සූදානම් වන බවත් ජනතාව සඳහන් කළා.

ප්‍රදේශවාසීන් දෙපිරිසක් අරගලයක් නිසා විදුලි වැට ඉදි කිරීම් කටයුතු ප්‍රමාදවී ඇති බවද දන ගන්නට තිබේ.

( දඹුල්ල – කාංචන කුමාර ආරියදාස)

Your Comments