“ලෝක ඉන්ධන මිල තවත් පහළ ගියොත් වාසිය ලබා දෙන්නම්” – අමාත්‍ය මහින්ද අමරවීර

14

චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ තෙල් මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කළත් එම තත්ත්වය ඉන්ධන මිල අඩුකිරීමට තරම් මිල අඩුවීමක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

එහෙත් මෙම තත්ත්වය දිගටම පවතින්නේ නම් එම මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒකල, ලක්දිව ඉංජිනේරු සමාගමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (13) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු දක්වා සිටියා.

මීට සති 2කට පමණ පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ රු. 12කින් පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු වුවත් රජය එසේ නොකළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා, වර්තමානයේ ඉන්ධන මිල පහළ යාම ස්ථාවර තත්ත්වයක් නොවන බවයි කියා සිටියේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අබලි බස්රථ අලුත්වැඩියා කර ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීම ඒකල, ලක්දිව ඉංජිනේරු සමාගම විසින් සිදුකරන අතර, එහි නවීකරණය කරන ලද බස්රථ 12ක් ඊයේ ලංගම වෙත බාර දී තිබෙනවා.

මේ අතර පුද්ගලික අංශයේ බස්රථ අලුත්වැඩියාව මෙන්ම දැනට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ 45ක් පමණ වැය කර චීනයෙන් ගෙන්වන උපාංග රැසක් රු. ලක්ෂ 6ක් වැනි මුදලකට තම සමාගම විසින් නිපදවිය හැකි බව ලක්දිව ඉංජිනේරු සමාගමේ කාර්මික නිලධාරීන් පෙන්වා දුන්නා.

එම කොන්ත්‍රාත්තුව මෙම දේශිය සමාගමට ලබාදීමටයි අමාත්‍යවරයා එකඟත්වය පළ කළේ.

දැනට ඉතා අවම වැටුපකට සේවය කරන එම සේවක මණ්ඩලවලට කැපවීමෙන් කටයුතු කර, ලක්දිව ඉංජිනේරු මසමාගම ලාභ ලබන තත්ත්වයට පත්කර දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියා.

ආදායමෙන් කොටසක් දිරිදීමනා වශයෙන් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Your Comments