රියදුරු බලපත්‍ර ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය

10

රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව ප්‍රවාහන සේවා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මාර්ග අනතුරු වැලැක්වීම සඳහා නීති දැඩි කළ ද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යන බැවින්
මෙම කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී, මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතු වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බවයි.

එහි දී වැඩි දුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා

“… වර්ෂ 2009 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ එරියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණා.

නොසැලකිලිමත් බව නිසා සිදුවන මාර්ග අනතුරු වලදී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු ලබාදීමට මෙම ක්‍රමය මගින් තීරණය කර තිබුණා.

මාර්ග අනතුරු සිදුකළහොත්, එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහළට රියදුරන්ගේ බලපත්‍ර වලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවනවා.

අවසානයේ ලකුණු 0 දක්වා කැපීගිය පසු රියදුරු බලපත්‍රය ඉබේම අහෝසි වෙනවා.

නමුත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රියදුරු බලපත්‍රයට ඇතුළත් කරන ලද විශේෂ චිපයක් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණත් එම චිපය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාංග පොලිස් ස්ථාන වලට ලබාදීමට පසුගිය සමයේ පියවර ගෙන තිබුණේ නැහැ.

එමනිසා මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය ඇණහිට තිබුණා.

ප්‍රවාහනය සම්බන්ධ විශේෂඥයින්ගේ මතය වන්නේ, රියදුරාගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන අනතුරු වලක්වා ගැනීමට යොදාගත හැකි හොදම උපාය මාර්ග වන්නේ මෙම ලකුණු දීමේ ක්‍රමය බවයි….”

Your Comments