රාවණා 1 – කක්ෂගත කිරීම 17 වනදා

21

දැනට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණා-1 නැනෝ චන්ද්‍රිකාව ලබන 17 වනදා පෘථිවියට කිලෝමීටර් 400ක් පමණ දුරින් කක්ෂගත කිරීමට සූදානම් බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේද සහයෝගය ඇතිව ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේදී රාවණා-1 නැනෝ චන්ද්‍රිකාව නිර්මාණය කෙරුණා.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේදී ආරම්භ කළ දිගු කාලීන අභ්‍යවකාශ තාක්ෂණ සංවර්දන වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. රාවණා-1 පසුගිය පෙබරවාරි මස 18 වනදා අභ්‍යවකාශ ගත කෙරුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළ තරිඳු දයාරත්න සිසුවා සහ තායිලන්තයේදී විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමිකා විතානගේ යන සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වී තිබෙනවා.
රාවණා -1 ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් 1000ක පමණ කුඩා වන අතර බරින් කිලෝග්‍රෑම් 1.1ක් වනවා.
මෙම චන්ද්‍රිකාවට රාවණා යන නාමය තබා ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්න මහතාගේ යෝජනාවකට අනුවයි.

Your Comments