යළි දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය

40

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතේ සියලු ප්‍රදේශවලට අද පස්වරුවේ පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියා.

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල, රස්නායකපුර සහ කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරු 02 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි ප්‍රථමයෙන් කටයුතු කළේ.
ඉන් අනතුරුව පොලිස් ඇදිරි නීතිය වයඹ පළාතේ සියලු ප්‍රදේශ ආවරණය වන පිරිදි පනවනු ලැබුවා.
මේ අතර කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශවලට ඊයේ අළුයම 12 සිට උදෑසන 6 දක්වා ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.
මේ අතර ජාතීන් අතර අසමගීය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් හලාවත ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ ඊයේ එම ප්‍රදේශයේ නොසන්සුන් කාරී තත්ත්වයක් හට ගත්තා.
ඒ හේතුවෙන් හලාවත නගරයට ද ඊයේ සිට අද අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාමක වුණා.
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කළ ව්‍යාපාරිකයා මේ මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ ඔහු හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු හලාවත කඩ වීදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන අබ්දුල් හමීඞ් මොහොමඞ් හස්වර් නමැති 35 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරුට එරෙහිව හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතා අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබු අතර සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටිම ද විශේෂත්වයක්.

Your Comments