මෛත්‍රී මාධ්‍යවේදීන්ගෙන් සමාව අයදි

75

මාතලේ පළාත් පාලන ආයතනයන්හි ගැටලු තත්ත්වයන් සොයා බැලීම සඳහා නව ආණ්ඩුකාර දඹුල්ලට පැමිණි අවස්ථාවේ එය වාර්තා කිරීමට බාධා එල්ලවීම සම්බන්ධයෙන් නව ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා සමාව ඉල්ලා සිටී.

සිද්ධිය මෙසේයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් දන්වා තිබුනේ දඹුල්ල නගරයේදී ආණ්ඩුකාරවරයා සහභාගී වන අවස්ථාව ආවරණය සඳහා පැමිණෙන ලෙසයි.

මාධ්‍යවේදීන් එම අවස්ථාවට පැමිණ තිබුණත් රැස්වීම් අවස්ථාව වාර්තා කිරීමට නොහැකි බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා එහිදී දන්වා තිබුණා.

ඒ අනුව මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් පිටව ගියා.

මාතලේ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සමග මෙම සාකච්ඡාව පැය දෙකහමාරක් පමණ පැවැත්වුණා.

සාකච්ඡාව අවසන්ව ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස දඹුල්ල බස් නැවතුම්පළ භුමියේ පිහිටි දඹුල්ල මහ නගර සභා ශ්‍රවණාගාරයෙන් පිටතට පැමිණියා.

ඒ වන විට යළි එම ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදීන් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගෙන් කරුණු විමසා සිටියා.

එහිදී ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ, පෞද්ගලික ප්‍රශ්න පිළිබඳ කෙරුණු නිසා මාධ්‍යවේදීන්ට රැස්වීමේ ස්ථානයට නොගත් බවක්.

පෞද්ගලික සාකච්ඡා පවත්වන්නේනම් රජයේ ගොඩනැගිලි, රජයේ යාන වාහන සහ රජයේ මුදල් වියදම් කළේ ඇයිදැයි මාධ්‍යවේදීන් එහිදී පෙරළා ප්‍රශ්න කළා.

ඔහු කියා සිටියේ මාධ්‍යවේදීන්ට මේ ස්ථානයේදී අපහසුතාවයක් වූයේ නම් සමාව අයදින බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ඉල්ලීම් මධ්‍යම ආණ්ඩුවෙන් ඉටු නොවන නිසා සංවර්ධනයට විශාල බාධාවක් සිදුවන බවට වන චෝදනාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

මේ අතර මෛත්‍රී ගුණරත්න මහතා සහ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් දඹුල්ල මහ නගර සභාව ක්‍රියාත්මක කරන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන නිරීක්ෂණයට කළා.

දිගම්පතන ප්‍රදේශයේ ඉදි කෙරෙන නව කොම්පෝස්ට් මධ්‍යස්ථානය ද පිරිසේ නිරීක්ෂණයට ලක්වුණා.

(දඹුල්ල – කාංචන කුමාර ආරියදාස)

Your Comments