මාතර කොල්ලයට කොස්ගොඩ තාරකගේ මව ඇතුළු 5ක් අත්අඩංගුවට

19

මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි හුවමාරුව අතරතුරදී තුවාල ලැබූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කරාපිටිය රෝහලේදීයි.
ඔවුන්ගෙන් එක් අයෙක් මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ කොස්ගොඩ තාරක නැමති අපරාධකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහුගේ සහෝදරයා ද ඒ අතර සිටින බව සඳහන්.
අනෙක් පුද්ගලයා අනුරාධපුර දුටුවැව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔවුන් මෝටර් රථයකින් පැමිණී පුද්ගලයෙකු විසින් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන් රෝහලට ගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් නැමති වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු පසුගිය අප්‍රේල් 21 වනදා නිට්ටඹුව – අත්තනගල්ල සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයෙකු ඝාතනය කර ගැබිනි කාන්තාවක ඇතුළු සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද වනවා.
මංකොල්ලය සඳහා පැමිණි යතුරුපැදියියේ හිමිකාරිය, අත්අඩංගුවට ගනු ලැබූ කොස්ගොඩ තාරකගේ මව බවට හදුනාගෙන ඇති අතර ඇය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියගේ නිවසේ තිබී මිලිමීටර 9 වර්ගයේ පතොරම් භාවිත කරන ගල්කටස් අවියක් ද සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම වෙඩි හුවමාරුවේදී එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
එමෙන්ම එහිදී සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර, වෙඩි හුවමාරුව අතරතුරදී මිය ගිය පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

Your Comments