මහ මැතිවරණය ගැන කොමිසමේ සභාපතිගෙන් ඉඟියක්

50

ලබන වසරේ මාර්තු 1වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළහොත් ලබන වසරේ අප්‍රේල් මස අගදී හෝ මැයි මස මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
කථානායක කරූ ජයසූරිය මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අදාලවයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.
ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදි කථානායක වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සඳහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරාත්තුවන බවයි මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ.
මාධ්‍ය උපමාන නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී කථානයකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත කර දෙන මෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

Your Comments