මන්නාරම සමූහ මිනීවලේ කැණීම් මාස 3කට අත්හිටුවයි

15


මන්නාරම සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයකට අත්හිටුවීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුවයි.

මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා, විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් සිව්දෙනෙකු, පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, රජයේ රස පරීක්ෂක නිළධාරි නියෝජිතයින්, මන්නාරම පොලිසිය, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අනුබද්ධ ආයතනයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සමඟ ඊයේ (22) සවස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී සාකච්ජාව පවත්වා තිබෙනවා.

මාර්තු මස 08 වැනිදා සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් සිදුකළ නියෝගයෙන් අනතුරුව නැවත ඒ සම්බන්ධයෙන් වන සාකච්ජාවකුයි කැඳවා තිබුණේ.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පල වාර්තාව මාර්තු මස 07 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මාර්තු මස 08 වැනිදා කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට නියෝග කළා.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර සාම්පල හය සම්බන්ධ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිටික් ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට යොමු කර තිබුණා.

සමූහ මිනිවළ තුළින් මාර්තු 08 වැනිදා වන විට දින 156ක කාලයක් පරීක්ෂණ පැවැත්වු අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ‍මතුකර කර ගැනුණා.

ඉන් සිරුරු 330කට අයත් අස්ථි කොටස් ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතිනවා.

සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් අතරින් සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන්නා.

කැනීම් මඟින් සොයා ගෙන ඇතත්, ගොඩ ගැනීම් සිදුනොකළ අස්ථි කොටස් මාස තුනක කාලයක් විවෘතව තැබුවහොත් එම අස්ථිවලට හානියක් සිදුවෙතැයි යන සැකය මත අදාළ අස්ථි කොටස්ද පස් දමා තාවකාලිකව වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

එමෙන්ම සමූහ මිනිවළ කැනීම් කටයුතුවලට එක්වු කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ‍ ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමේ වාර්තාව ද මාස තුනක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගය කර තිබෙනවා.

වාර්තා ඉදිරිපත්වීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන අතර, ඉදිරි දිනකදී විනිවිද භාවයෙන් යුතුව සියළු පාර්ශව ඉදිරියේ සමූහ මිනිවළ තුළින් මතුවු අස්ථි කොටස් තාවකාලිකව පස් දමා වසා දැමීම සිදුකරනු ඇති.

අස්ථි කොටස් සම්බන්ධයෙන් කළ කාබන් පරීක්ෂණයට අනුව අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1450ත් 1650ත් අතර කාල සීමාවකට අයත් බවටයි අණාවරණය වුණේ.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2017 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළා.

අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද දැකගන්නට ලැබුණා.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවී තිබෙනවා.

(වවුනියාව – මාධව කුලසූරිය)

Your Comments