මන්නාරම සමූහ මිණීවලේ කැනීම් කටයුතු යළි අරඹයි
මාධව කුලසූරිය - වවුනියාව

28

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසු අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.
එම කැනීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර, 56 වන දිනට ඊයේ නැවත කැනීම් කටයුතු සිදු කළ බවයි පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පවසන්නේ.
මෙම සමූහ මිනිවළ කැනීම තුළින් මිනිස් සිරුරු 66 කට අදාළ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බව සදහන්.
එම සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පුරාවිද්‍යා මහචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයින්ගේ සිරුරු අවිධිමත් ආකාරයෙන් වල දමා ඇති බවයි.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුවයි අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවේ.

 

Your Comments