මත් ජාවාරම්කරුවන් 4කට කඩිනමින් මරණ දඬුවම – මත්ද්‍රව්‍ය නිවාරණ ජාත්‍යන්තර දිනයේ දී ජනපති කියයි

59

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා එම ලේඛණයට අත්සන් තැබු බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ඔවුන්ට කඩිනමින් මරණ දඩුවම ක්‍රියාත්මක කරනු ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.

ඔවුන් සිව් දෙනාම බරපතල මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මරණ දඩුවම නියම වී සිටින අයයි.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදෙන අද (26) ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේ ජනාධිපති මන්දිරයේ පෙරවරුවේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවකට එක් වෙමින්.

මත් ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරක ම ජුනි මස 26 වැනි දිනට යදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට 1987 දෙසැම්බර් මස 7 වන දිනඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තේමාවට අනුව ‘පළමුවෙන් සවන් දෙන්න’ යන්න මෙවර එහි තේමාවයි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්ර දිනය සැමරීමේ ජාතික උත්සවය අද පස්වරු 4.00ට පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ කොළඹ පදනම් ආයතනයේදී.

මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන උත්සවය ජුලි 01 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙරට හෙරොයින්වලට ඇබ්බැහිවූවන් 50,000ක් පමණ සිටින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ හා විෂ වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පාසල් සිසුන් ද මත්ද්‍රව්‍යවලට අබ්බැහි වන කොටස් අතර වනවා.

දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙළඹීම හා ඒවාට ඇදීයාම අවම කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන කාර්ය වනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමයි.

මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්ර දිනය තේමා කරගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ජුනි මස 23 දින සිට ජුලි 01 දින දක්වා රජය විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත් කළා.

ඊට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මද්‍යසාර හා දුම්වැටි භාවිතය සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරිම, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ආදර්ශ පාඨයක් පාසලේ ප්‍රදර්ශනය කිරීම, පන්ති කාමර මට්ටමින් මෙම සතිය තුළ එක් එක් දිනයන්ට අදාළ ව මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ව ආකල්පමය වෙනසක් ඇති කළ හැකි ආකාරයේ ආදර්ශ වාක්‍ය ප්‍රදර්ශනය කරවීම, පන්ති මට්ටමින් බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම සඳහා කටයුතු සැලසුම් කීරීමට පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීම ට ද කටයුතු මර තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති, නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම නිවාරණය හා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය යන ප්‍රධාන තේමා ත්‍රිත්වය ඔස්සේ මේ වන විටත් දිවයින ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මකයි.

එම වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කිරීම මේ සතිය තුළ සිදු කෙරෙන අතර, සියලු පළාත් ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සිදු කෙරෙනු ඇති.

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ පුනරුත්ථාපනය ඉලක්ක කර ගනිමින් සියලු පළාත් ආවරණය වන පරිදි ප්‍රධාන වැඩසටහන් 9ක් ක්‍රියාත්මක කෙරෙන අතර, මතින් මිදීම පිළිබඳව දැනුවත් කිරීම, ඒ පිළිබඳ පවුල් දැනුවත් කිරීම, වෘත්තීය පුහුණු ආයතනයන්හි සිසුන් දැනුවත් කිරීම, පුනරුත්ථාපනයෙන් පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධ පසුවිපරම් හා පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම යනාදී වැඩසටහන් මේ සතිය තුළ ක්‍රියාවට නැංවෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත ඇමතුම් ගතහැකි 1984 දුරකථන අංකය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර් ය සාධක බලකාය මගින් හඳුන්වා දුන්නා.

පුනරුත්ථාපනයට යොමු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම, ප්‍රජා විශෝධන හා මත් නිවාරණය සම්බන්ධ අත්පත්‍රිකා බෙදාහැරීමට ‍දිවයිනේ සියලු පොලිස් ස්ථාන හා විශේෂිත ඒකක මඟින් වැටලීම් හා ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඇතුළු විශේෂී වැඩසටහන් රැසක් මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Your Comments