‘බැටික්ලෝ කැම්පස්’ හදිසි නීතිය යටතේ රජයට ගන්නැයි පාර්ලිමේන්තුවට ඒකමතික යෝජනාවක්

204

‘මඩකලපුව විශ්ව විද්‍යාලය’ නම්  ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපන හා මානව සම්පත්  සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කළා.

එම කාරක සභාවේ සභාපති, මහාචාර්ය ආශු මාරසිංහ මහතා යෝජනාව ඉදිරිපත් කළේ එම ආයතනය පිළිබඳ සොයා බැලීමෙන් පසු සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

‘මඩකලපුව විශ්ව විද්‍යාලය’, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාම සුදුසු බවයි අධ්‍යාපන හා මානව සම්පත්  සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත්තේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි මහාචාර්ය ආශු මාරසිංහ මහතා විශ්වාසය පළ  කරන්නේ.

මේ අතර ‘බැටික්ලෝ කැම්පස්’ නම්  ආයතනය නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමට විදේශයකින් කිසිදු ණය මුදලක් ලැබී නොමැති බව පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ හෙළිව තිබෙනවා.

මෙම තොරතුරු හෙළිව ඇත්තේ, ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ අංශයේ කළමනාකරු ඩබ්ලිව්.ජී. ජනක් ප්‍රසන්න මහතා ඊයේ කොමිසමේ පොලිස් ඒකකයට දුන් ප්‍රකාශයකින්.

මහ බැංකුවේ අවසරයකින් තොරව කිසිදු විදේශීය ණයක් එම ගිණුමට බැර කළ නොහැකි බව  ඔහු එහිදී පවසා තිබෙනවා.

බැටික්ලෝ කැම්පස් ගිණුමට විදේශවල සිටින විවිධ පුද්ගලයින් හා ආයතන මගින් අවස්ථා ගණනාවකදී මුදල් බැර කර ඇති බව ද ඔහු කොමිසමට දන්වා සිටියා.

කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් දෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ, අදාළ ගිණුමට විදේශයකින් ණය මුදලක් ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද ජනාධිපති කොමිසම සඳහන් කළා.

Your Comments