පොහොට්ටුව සමග සාකච්ඡාවට පෙර නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව රැස් කරයි

4

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර සිය මධ්‍යම කාරක සභාව කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට පස්වරු 6 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනපති නිල නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙනු ඇති.
එළඹෙන අඟහරුවාදා යළි සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය දා එකගත්වයකට එළඹුණා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් එම සාකච්ඡා සඳහා සහභාගිවීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් එම සාකච්ඡා සඳහා සහභාගි වන බව සඳහන්.
ඒ අනුව මෙම සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී ලබන අගහරුවාදා පැවැත්වෙනු ඇති.

Your Comments