පුත්තලමේ PHIලා ලෙඩ නිවාඩු
ජුඩ් සමන්ත - පුත්තලම

42

පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛය පරීක්ෂකවරුන්  03 වැනිදා අසනීප නිවාඩු ලබා ගෙන සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙනවා.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පසුගිය මාර්තු මංගල්‍යයේ සෞඛ්‍ය රාජකාවල නිරත වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමනා මෙතෙක් නොගෙවීම සහ එම දීමනාව කප්පාදුවකින් අනතුරුව ගෙවීමට වයඹ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබීම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතුව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

තලවිල දේවස්ථානයේ මංගල්‍ය සමයේදී සෞඛ්‍ය රාජකාරි සඳහා යොදවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොට්ඨාස 06කට වෙන් කර එම භූමියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම, මැසි මදුරුවන් සඳහා කෘමි නාශක යෙදීම සහ තාවකාලික ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම ඇතුළු රාජකාරි කටයුතු සිදු කරනු ලබනවා.

වෙනත් වසරවලදී තලවිල විශේෂ රාජකාරි සදහා අනියුක්ත කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමනා ගෙවීම් සිදු කර ඇතත් පසුගිය මාර්තු මංගල්‍යයට සහභාගි වූ නිලධාරීන්ගේ අතිකාල දීමනා නොගෙවා සිටීම සහ ගෙවීමට තීරණය කර ඇත්තේද කප්පාදුවකින් පසුව වීම වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට හේතුව බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙම තත්ත්වය නිසා මෙම අගෝස්තු මාසයේ පැවැත්වෙන තලවිල මංගල්‍ය රාජකාරි වලින් ඉවත් වීමටත්, එම භූමිය තුළ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පමණක් යෙදවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. තලවිල දේවස්ථානයේ මංගල්‍ය සඳහා ලක්ෂ 05 ක පමණ බැතිමතුන් ප්‍රමාණයක් සහභාගි වන අතර, මංගල්‍යට පෙර 50,000 කට අධික බැතිමතුන් ප්‍රමාණයක් කඳවුරුලාගෙන එම භූමිය තුල සිටිති. මෙම තත්ත්වය තලවිල පුජා භූමියේ සෞඛ්‍ය තත්ත්වයටද දැඩි බලපෑමක් එල්ල කර ඇත. පසුගිය 29 වැනිදා ආරම්භ වූ තලවිල දේවස්ථානයේ මංගල්‍ය සමය ලබන 05 වැනිදා අවසන් වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැණුවත් කළත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බවත් 03 වැනිදා දවස තුළ යහපත් ප්‍රතිචාර නොලැබුනහොත් 04 සහ 05 යන දිනවල ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. තලවිල දේවස්ථානය අයත් වන කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ විභාගයට පෙර සියළුම විභාග මධ්‍යස්ථාන අවට දූමායනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. යම් ආකාරයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වුවහොත් දූමායන කටයුතු නොකිරීම හේතුවෙන් විභාග වලට මුහුණ දෙන දරුවන්ද ගැටළුවලට මුහුණ දීමට ඉඩ ඇති බවත්, එහි වගකීමද වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් බාර ගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Your Comments