පාර්ලිමේන්තුව අද රැස්වෙයි – ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් විවාදයට

10

පාර්ලිමේන්තුව අද පස්වරු 1 ට රැස්වනවා. ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග 9 ක් අද විවාදයට ගැනීමට නියමිතයි.
කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම ඇතුලු නියෝග 9 ක් මෙලෙස විවාදයට ගෙන පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තු කාරක සභාවට යෝජනා වී ඇති මැති ඇමතිවරුන් 17 දෙනාගේ නම් සඳහා අද සභාවේ අනුමැතිය ගැනීමටද නියමිතයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ නම් න්‍යාය පත්‍රයේ දක්වා තිබෙනවා.
කෝප් හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුලු කාරක සභා සඳහා නියෝජිතයන් පත් කිරීම ඇතුලු වැදගත් කාර්යයන් ගණනාවක් සිදුවන්නේ පාර්ලිමේන්තු කාරක සභාව හරහායි.
මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබඳ සිදුකෙරුණු වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වෙත ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය අදින් ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුල කථානායක කරූ ජයසූරිය මහතා විසින් දැනුම් දීමටද නියමිතයි.
එම වාර්තා නොදීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකිරීමටද නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කලේ.

Your Comments