පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
රංජිත් රාජපක්ෂ - හැටන්

21

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි

මේ අතර පස් කන්දක් සහ ගස් කඩාවැටීමක් හේතුවෙන් නෝටන් බි්‍රජ් සිට දියගල දක්වා ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අට්ලිස් ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

මාර්ගයට කඩාවැටුණු ගස් කපා ඉවත් කිරීම සහ පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවයි නෝටන් බි්‍රජ් පොලීසිය සඳහන් කළේ.

මේ අතර ධාරාණිපාත වර්ශා හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම් අවධානම් මට්ටම් කරා ළගාවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කලු ගග රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්ද කැළණි ගග නෝර්වුඞ් ප්‍රදේශයෙන්ද මහවැලි ගග නාවලපිටියෙන්ද ජල මට්ටම් ඉහළ යමින් ඇති බවයි අද පෙරවරු 10 යි 30 ට නිකුත් කල වාරිමාර්ග නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද අවධානම් මට්ටමක් දක්වා ළගාවෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

මේ අතර කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගංඟා දෙපස පහත් බිම්වල සිටින ජනතාව මෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව ද ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ.

මේ අතර දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළන් ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

Your Comments