පන්ති යන බව පවසා ගලබොඩ ගිය සිසුවා දිය වළකින් මතුවූ හැටි (PHOTOs)

200

නාවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර අද (19) උදැසන 10.30 ට පමණ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබි ගොඩ ගෙන තිබෙනවා.

නාවලපිටිය පොලිසිය පැවසුවේ මියගොස් ඇත්තේ ගම්පොල බෝවල ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර ප්‍රදිප් නැමති 18 හැවිරිදි සිසුවා බවයි.

සිසුවා ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුවෙක්.

ගම්පොල නගරයේ පැවැත්වෙන බාහිර පන්තියකට සහභාගි වන බව නිවසට පවසා සිසුවාගේ පෙම්වතිය සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිසුවාගේ පාවහන් දිය ඇල්ලට පහලින් ගැඹුරු වලකට වැටුනු බවත්, ඒවා ගැනිමට ගිය සිසුවා ගැඹුරු වලට වැටී මද දුරක් පිනා යාමෙන් පසු අතුරුදහන් වූ බව පෙම්වතිය විසින් පොලිසියට පවසා තිබෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ දිය ඇල්ලට පහලින් ගැඹුරු වලේ දෙදෙනාම දිය නාමින් සිටියදි එකවරම පාසල් සිසුවා අතුරුදන්ව ඇති බවක්.

ඊයේ (18) පස්වරුවේ සිටම අද (19) උදැසන දක්වා ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශාවාසින් විසින් අතුරුදහන්වු සිසුවා සොයා මෙහෙයමුක නිරත් වුණා.

ගලබොඩ දිය ඇල්ලට පහල ගැඹුරුවලක තිබි සොයාගත් පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශවාසින් පවසන්නේ ගලබොඩ දිය ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන්ට පස්බාගේ කෝරළයේ ප්‍රාදේශිය සභාව මගින් ප්‍රවේශපත්‍ර නිකුත් කළත්, සංචාරකයන් වෙනුවෙන් පහසුකම් හෝ ආරක්ෂිත වැඩ පිළිවෙලක් ප්‍රාදේශිය සභාව මගින් ක්‍රියාත්මක කර නොමැති බවයි.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments