නීති විරෝධී මත්පැන් සමග සිව් දෙනෙක් අත්අඩංගුවට

15

ප්‍රදේශ තුනකදී නීති විරෝධී මත්පැන් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හුංගම, නිදහස්ගම බටහිර ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් අලෙවි කරන බවට හුංගම පොලිසියේ නිලධාරීන්ට ඊයේ(03) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු සමග මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කඩුවක් කිනිස්සක් නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 15000ක් නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා මිලිලීටර් 161000ක් ගෑස් ලිපක් ගෑස් සිලින්ඩර් එකක් සහ තඹ දඟරයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රන්න ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(04) අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර නිට්ටඹුව, වල්පොල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ නිට්ටඹුව පොලිසියට ලද තොරතුරක් මතත සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 52500ක් (බෝතල් 70) සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු බවයි.
නිට්ටඹුව රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිට්ටඹුව පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර අත්අඩංගුවට ගැනුණ සැකකරු අද(04) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පැල්මඩුල්ල, මිදලන ප්‍රදේශයේදී ද ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහන කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී මත්පැන් මිලිලීටර් 11250ක් පමණ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 21 යන වයස්වල පසුවන පැල්මඩුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments