නිවාස 25ක් ජලයෙන් යටවෙයි (PHOTOs)

16

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් තව දුරටත් ජලයෙන් යට වි තිබෙනවා.

මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය බව්වාගම, ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 25කට පමණ ජල ගැලීමෙන් බලපෑම් එල්ල වුණා.

එම නිවාස වල රැදී සිටි පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා.

මේ අතර නාවලපිටිය – ගිනිගත්හේන මාර්ගයේ ර රඹුක්පිටිය ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට ඊයේ (13) පස්වරුවේ ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වුණා.

මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ නානුඔය පදිංචිව සිටි මුර්ති රාජේන්ද්‍රන් නැමැති 33 හැවිරිදි දෙදරු පියෙකි.

පස් කන්ද කඩා වැටීමත් සමග මෙම පුද්ගලයා අඩි 20ක පමණ පහළින් පිහිටි නුවරඑළිය- හැටන් ප්‍රධාන මාර්ගයේ කොන්ක්‍රීට් කාණුවට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල ස්ථාන රැසක නායයාමේ අවදානම් තත්වයක් හට ගෙන තිබෙනවා.

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයට ද පස් කඳු කඩාවැටී ඇති බවයි වාර්තා වුණේ.

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසල මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය පුළුල් කරන ස්ථානයේ අද (14) පෙරවරු 8ට පමණ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ධාවන කටයුතු පැය කිහිපයක් සම්පූර්ණයෙන් ඇණහිට තිබුණා.

පසුගිය දින කිහිපයේ ම මෙම ප්‍රදේශයේ පස් කඳු නාය යන ආකාරයක් දක්නට ලැබුණා.

මේ අතර කළු, ගිං සහ කැළණි ගංගා ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ දැරණියගල සහ කිතුල්ගල ප්‍රදේශයෙන්ද විමසිලිමත්විය යුතු මට්ටමට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දිවයිනේ නිරිත දිග කො‍‍ටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීම අද දිනයේදීත් තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම සබරගමුව පළාත් වලටත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ / ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Your Comments