‘නැත්ත වෙනුවට ඇත්ත’ – ජවිපෙට ජය – මිලියන 10ක වන්දියක් ගෙවන්නැයි වීරවංශට නියෝග

218

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංඝනය වී ඇති බව අධිකරණය තීරණය කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ වානිජ මහාධිකරණය අද (11) තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අධිකරණය තීරණය කළේ එම කෘතිය ප්‍රසිද්ධියට පත් කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංඝනය වී ඇති බවයි.

ඒ අනුව අදාළ කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අධිකරණය නියෝග කළේ රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙසයි.

ඊට අමතරව අධිකරණය අදාළ කෘතිය ප්‍රසිද්ධියට පත් කිරීම වලක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළා.

විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් ‘නැත්ත වෙනුවට ඇත්ත'[ කෘතිය මුද්‍රණය කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ද ලබා දෙන දී තිබුණා.

අද අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Your Comments