නාවික හමුදාවේ අධිකාරියට පත් ඇමෙරිකානු පරිත්‍යාගය

40

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරුණා.

ඒ සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගේ සුරතින්.

උත්සවය ජුනි 06 කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්වුණා.

එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලීනා ටැප්ලිස් මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් යන සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියා.

තවද, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්‍ෂකවරුන් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් රෝහිත අබේසිංහ වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කළා.

එහිදී, කපිතාන් අබේසිංහ විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුතුව භාර ගන්නා බවට ද ප්‍රතිඥා දුන්නා.

ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිවරයා විසින්.

ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය වසරේ අගෝස්තු 27 වන දින හවායි දුපතේ හොනොලුලු හිදි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දී තිබුණා.

නෞකාව දිගින් මීටර් 115ක්. පළලින් මීටර් 13ක්.

පැයට මුහුදු සැතපුම් 28ක වේගයකින් යාත්‍රා කළ හැකි එය ටොන් 3302ක ධාරිතාවයකින් සමන්විතයි.

මෙම නෞකාවේ නිලධාරීන් 22 දෙනෙකු ඇතුළු 111 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

නෞකාව නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධති වලින් සමන්විත වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ.

ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කෙරෙයි.

Your Comments