ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය ජනපති ප්‍රධානත්වයෙන් එළිදැක්වෙයි

13

වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉංග්‍රීසි බසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා විසින් පසුගිය 6 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදක්වනු ලැබීය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂ සංධිස්ථානයක් වන වයිස්රෝයි ස්පෙෂල් නමැති වාෂ්ප දුම්රියේ උත්පත්ති කතාව සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේදී වාෂ්ප එන්ජින්වල දායකත්ව පිළිබඳව මෙන්ම දුම්රිය ප්‍රවාහනයේ විකාශනය පිළිබඳ පර්යේෂනාත්මක සහ ගවේෂණාත්මක කෘතියක් ලෙසට ද වයිස්රෝයි ස්පෙෂල් කෘතිය දැක්විය හැකියි. අසමජ්ජාති ආදරය, ඊළඟ කෑල්ල, කුමාරයා ආදී නවකතා ඇතුළු ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර ඇති භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ පළමු අනුවාදය වයිස්රෝයි ස්පෙෂල් කෘතියයි.
කෘතියේ පළමු පිටත් භාරත ප්‍රභාෂණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැන්වූ අතර මෙම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, බුද්ධදාස ගලප්පත්ති, මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියා.

Your Comments