දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට

19

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට(27) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
එසේම බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(26) පෙරවරු 5.30ට නිකුත් කළ නිවේදනයේ සඳහන්.
සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම සබරගමුව සහ මධ්‍යම පලාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
ඉදිරි පැය 24ක කාලයට දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ වැසි තත්ත්වය සැලකීමේදී පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තෙතට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇති වේ.
එසේම එම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතත සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර පමණ අගයක් ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Your Comments