දංකොටුව සතිපොළේ ‘මුස්ලිම් තහනමට’ හේතු දක්වන්නැයි වෙන්නප්පුව සභාපතිට නොතීසි

47

මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට දංකොටුව සතිපොළෙහි වෙළඳාම තාවකාලිකව තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ට මාරවිල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා.

වෙළෙන්ඳන් පිරිසකට සතිපතා පොළ භූමියට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමින් වෙනප්පුව ප්‍රදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා මහතා විසින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

ඔහු එමගින් පෙන්වා දී ඇත්තේ සති පොළෙහි පවත්නා සාමකාමී වාතාවරණය ආරක්ෂා කර ගැනීම උදෙසා අදාල පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා ද පැන නැගුණා.

මංගල සමරවීර අමාත්‍යවරයා, එම ක්‍රියාව ලජ්ජා සහගත බව දක්වා සිටියා.

මුස්ලිම්වරුන්ට සාධාරණ ලෙස සැලකීම සහතික කළ හැකි දැයි Rasika Jayakody ප්‍රශ්න කර සිටී.

පොදුජන පෙරමුණට බලය හිමි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා කියා සිටියේ මෙම තීරණය පිළිගත නොහැකි බවයි.

විරෝධතා එල්ල වීමත් සමග සභාපතිවරයා FB හි සටහනක් දක්වා තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ මෙම ක්‍රියාව යම් දේශපාලන පටු අරමුණු උදෙසා යොදා ගැනීමෙන් වළකින ලෙසයි.

“2019/06/24 සදුදා දින දන්කොටුව සතිපොළේ මුස්ලිම් වෙළඳ මහතුන් සහ අනෙකුත් වෙළඳ ප්‍රජාව සමග ඇතිවූ නොසන්සුන්තාව ප්‍රචණ්ඩකාරී තත්වයකට යෑමට පෙර දන්කොටුව ජනතාවත් වෙළඳ සංගමය සහ ගරු ආගමික නායක තුමන්ලාගේ ඉල්ලීම පරිදි මෙය සාකච්ඡා මගින් විසඳා යථා තත්ත්වයට පත් කර ගැනීමට, අවස්ථාව අනුව මුස්ලිම් වෙළඳ මහතුන්ගේ අනෙකුත් වෙළඳ ප්‍රජාවගේ සාමය උදෙසා ගත් තාවකාලික පියවරක් ලෙස මෙයින් ප්‍රකාශ කර සිටිමි.
මෙම ක්‍රියාව යම් දේශපාලන පටු අරමුණු උදෙසා යොදා ගැනීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිමි.
ඉදිරි අනාගතයේදී සියලු ජාතීන් සඳහා සාමයෙන් සතුටින් පිරි නාගරික වාතාවරණයක් ඇති කිරීමට තාවකාලික පියවර ඉවහල් වන බව බුද්ධිමත් ජනතාවට ප්‍රකාශ කර සිටිමි.
Victor Susantha Perera වික්ටර් සුසන්ත පෙරේරා
සභාපති
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව”

සතිපතා පොළ භූමියට ඇතුළුවීම සම්බන්ධයෙන් ජන කොටසකට තහනමක් පනවා ඇති බවට දන්කොටුව පොලිසියට අද (26) පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය මාරවිල අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ අනුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා මහතා ඇතුළු 06 දෙනෙකුට 28 වනදා, සිකුරාදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කෙරුණා.

 

Your Comments