තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය තවත් දින දෙකක් දීර්ඝ වෙයි
ඇප තැන්පත් කිරීම හා නාම යෝජනා භාරදීමට පැමිණෙ පිරිස් සීමා කරන්නැයි ඉල්ලීමක්

38

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අද හෙට සහ අනිද්දා දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හමුවේ ඉදිරි දිනවල ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු ඒවා ලෙස සලකා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි කොමිසම සඳහන් කලේ.
කොරෝනා වෛරසය පාලනය සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බවයි කොමිසම නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර නාම යෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද සිට නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලා.
නිවාඩු දිනයක් වීම හේතුවෙන් ඊයේ දිනයේදී එය සිදුකෙරුණේ නැහැ.
මේ අතර පවතින කොරෝනා වෛරස් අවධානම හමුවේ නාම යෝජනා භාරදීමට පැමිණෙන පිරිස හැකිතාක් සීමා කරන ලෙසටයි කොමිසම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දෙන්නේ.
ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියාසිටියේ නාම යෝජනා භාරදීමට පැමිණෙන්නන් මුව ආවරණ පැලඳ සිටීම යෝග්‍ය බවයි.

Your Comments