තැපැල් ඉතිරි කිරීමේ ගිණුම්වල මුද්දරවලින් මූල්‍ය වංචාවක් කළ හිටපු උපතැපැල් ස්ථානාධිපතිනියක් රක්ෂිත බන්ධනාගාරයට
අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය

24

විවෘත නොවූ තැපැල් ඉතිරි කිරිමේ ගිණුම්වල මුද්දර ඉදිරිපත්කර තැපැල් කාර්යාලවලින් වංචනික ලෙස රුපියල් 47,500/-ක් ලබාගත් වැඩ තහනමට ලක්වී සිටින උපතැපැල් ස්ථානධිපතිනියක්  ලබන 24 දා දක්වා බන්ධනාගාරගත කරණ ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුවවිධාන මහතා  කන්තලේ මුලස්ථාන පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙසේ බන්ධනාගාරගත වුයේ මාවනැල්ල  අලුත්නුවර පදිංචි  උපාසක ගෙදර අයේෂා කුමාරි  (43) නමැති අයයි. සැකකාරිය  තඹලගමුව, කන්තලේ  ගල්මැටියාව, මොල්ලිපොතාන  හා ත්‍රිකුණාමලය යන තැපැල් කාර්යාලවලින් තැපැල් ඉතිරි කිරිමේ පාස්පොත් තුනක් උපයෝගි කරගෙන මෙම මුදල වංචා කර ඇති බව  සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කන්තලේ කොට්ඨාස විශේෂ  අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් (29118) බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පැවසිය.

කෑගල්ල තැපැල් අධිකාරිවරයා විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට  කල පැමිණිල්ලක්  අනුව කන්තලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි. විජේසිරි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වා සැකකාරිය  අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාරිය උපතැපැල් ස්ථානාධිපතිනියක්ව සිටියදි  වැඩ තහනමකට ලක්වීමෙන් පසු තම  භාරයේ තිබු තැපැල් පාස්පොත්, ඉතිරි කිරිමේ මුද්දර, දින මුද්‍රා භාර නොදී රැගෙනවිත් මෙම වංචාව සිදුකර ඇති බව  පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් කියවිනි. සැකකාරිය රුපියල් 89,000/-ක තැපැල් ඉතිරි කිරිමේ මුද්දර රැගෙනවිත්  ඇති බවද වාර්තාවේ තවදුරටත් දැක්වේ. කන්තලේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිලකරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

Your Comments