ණය ගෙවා ගැනීමට නොහැකිව එකම පවුලේ තිදෙනෙක් වස බොති -අයෙක් මරුට – දෙදෙනෙකුට බරපතලයි
මාධව කුලසූරිය - වවුනියාව

27

ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීමෙන් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (20) සවස සියදිව නසා ගැනීමට වස පානය කොට ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය, මඩ්ඩුවිල්, සන්දිපුරම් උතුර ප්‍රදේශයේ පදිංචි මවක්, දියණියක් හා බෑණා එලෙස වස පානය කොට ඇති බවයි.

වස පානය කිරීම හේතුවෙන් නවරත්නම් විමලේශ්වරී නමැති 65 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ,ඇයගේ දියණිය වන ශිවලක්ෂන් කිර්තිකා නමැති 35 හැවිරිදි කාන්තාවක් හා මියගිය කාන්තාවගේ බෑණා වු ශිවපාලන් ශිවලක්ෂන් නමැති 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බරපතල තත්වයෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වු සිත් තැවුලක් මත අදාළ පිරිස වස පානය කොට ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

යාපනය ඇතුළු උතුරු පළාත පුරා පසුගිය සමයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුළින් ණය ලබා ගැනීම හා අධික පොළියට ණය ලබා ගැනීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකිවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු පසුගිය සමයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Your Comments