ජනාධිපතිවරණ කාල සීමාවතුළ වර්ජනයේ නිරත නොවන්නැයි මැතිවරණ කොමිසමෙන් වර්ජකයන්ට ලිපියක්

20

ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

නාම යෝජනා කැඳවීමේ දිනයෙන් පසුව ආරම්භ වූ වැඩවර්ජන මාලාව පිළිබඳ අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැක්කේ රාජ්‍ය සේවකයින්ගේ උපරිම සහය ලදහොත් පමණක් බවයි.

විශේෂයෙන් දැනට වැඩ වර්ජනයේ නිරතව සිටින දුම්රිය කාර්යය මණ්ඩල මැතිවරණ කාලසීමාවේ දී එම වැඩ වර්ජනය අත්හැර සාකච්ඡාමාර්ගයෙන් ගැටලු විසඳාගන්නා ලෙස ද මහින්ද දේශප්‍රිය මහතා එම වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය අරගලවලට පෙළඹී ඇති හා පෙළඹෙන රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි වෘත්තීය සමිතිවල ඉල්ලීම් සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳා ගැනීමට උපරිම උත්සහ දරන ලෙස රජයේ නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කුමන තත්ත්වයක් යටතේ වුව ද නියමිත දිනයේ දී ජනාධිපතිවරණය නියමානුකූලව පැවැත්වීමට උපරිම ශක්තිය යොදා කටයුතු කිරීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගන්නා බවයි මහින්ද දේශප්‍රිය මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Your Comments