ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන එජාපය තවත් සාකච්ඡා වට කිහිපයක

21

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව ද සදහන්.

එමෙන්ම, අද දිනයේ එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට කොළඹින් බැහැර නොයන ලෙස දැනුම් දී තිබෙනවා.

හදිසි රැස්වීමක් කැඳවීම හෝ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුවහොත් ඒ සඳහා සහභාගිවිය හැකි ස්ථානයක රැඳී සිටින ලෙසයි පක්ෂ නායකත්වය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කල බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කලා.

ඒ ඊයේ රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදීයි.
අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී තිබෙනවා.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වෙනවා.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේදියි
එම රැස්වීම පෙරවරු 9 ට ආරම්භවීමට නියමිතයි.

එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද සදහන්.

Your Comments