ජනපති හිටපු ජනපති ඇතුළු පවුලේ සාමාජිකයින් ඝාතන කුමන්ත්‍රයක් ගැන වැරදි තොරතුරු සැපයූ මාධ්‍යයට ජනමාධ්‍ය ඇමතිගෙන් දොස්

52

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයෙකු තොරතුරු දන්නා බවට මාධ්‍ය කිහිපයක අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එවැනි කුමන්ත්‍රණයක් පවතින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අදාළ ඉන්දීය ජාතිකයා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ලබාගත් තීන්දුව පදනම් කරගනිමින් මෙම අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව ද අමාත්‍යවරයා පවසනවා.
තහවුරු කිරීමකින් තොරව මෙවැනි බරපතළ කරුණු පළ කිරීමට සමාව දිය නොහැකි බව ද මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ  නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මෙරෙට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බව  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
එම පුද්ගලයා 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව  ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

Your Comments