ජනපති ගැන කියා ජනතාව මුලාකරන බවට තොරතුරු

5

ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග තමන්ට සමීප සබඳතා ඇති බව පවසමින් ජනතාව මුලාකර අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසනවා.

විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උපකාර කළ හැකි බවට ඔවුන් අසත්‍ය මත පතුරුවා හැර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඇතැම් පුද්ගලයින් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථා ද අණාවරණය වී ඇති බව සදහන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව කටයුතු කිරීම බවත්, පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගැනීමට කවරෙකුට හෝ හැකියාවක් නොමැති බවත් ජනාධිපති කාර්යාලය අවධාරණය කරනවා.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන ලෙසයි ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම් දෙන්නේ.

ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකර වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගන්නා බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Your Comments