ජනපති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවිමේ සමුළුව අමතයි

19

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවිමේ පියවර පිළිබඳ සමුළුව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමතනු ලැබුවා.

ටජිකිස්ථානයේ දුෂාන්බේ (Navruz)සම්මන්ත්‍ර ශාලාවේදී සමුළුව පැවැත්වෙනවා.

සමුළු සභාපති ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඊට චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයන්ගේ සහ ප්‍රධාන පෙළේ නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියා.

ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට ද නියමිතයි.

මේ අතර, ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුවට සහභාගීවීම සඳහා ටජිකිස්ථානයේ දුෂාන්බේ නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජාතික කෞතුකාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

කෞතුකාගාරය කුඩා හා විශාල ප්‍රදර්ශන ශාලා රැසකින් සමන්විත වන අතර එය සොබාදහම, පෞරාණිකත්වය, මධ්‍යතන යුගය, නවීන හා සමකාලීන ඉතිහාසය සහ ලලිත හා ව්‍යවහාරික කලාවන් ප්‍රදර්ශනය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කෞතුකාගරයේ ආකෘතිය ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් වූ අතර එහි තැන්පත් කර ඇති වසර දහස් ගණනක් ඉපැරණි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානයකට ලක් වුණා.

අනතුරුව ජනාධිපතිවරයා කෞතුගාරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තබා තිබෙනවා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුෂාන්බේ නගරයේ පිහිටි භමරුන ජල විදුලි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වී තිබෙනවා.

Your Comments