ග‍්‍රාමීය වැව් 325ක් ප‍්‍රතිස්ථාපනය කෙරෙයි

8

ජනතාවගේ දුගීභාවය අවම කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක සියලු‍ සංවර්ධන ව්‍යාපෘති වංචාවෙන් සහ දූෂණයෙන් තොරව කාර්යක්ෂමව කි‍්‍රයාවට නංවමින් එහි පූර්ණ සහ කඩිනම් ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලු‍ නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘වැව් ගම් පුබුදුව’ සංවර්ධන වැඩසටහන පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

දිස්ති‍්‍රක්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැවි ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් වූ වැව් ගම් පුබුදුව කි‍්‍රයාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3682ක හා ශ‍්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1250ක වියදමින්.

මෙම ව්‍යාපෘතිය පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ති‍්‍රකුණාමලය හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක 7ක මල්වතුඔය, මී ඔය හා යාන් ඔය යන ගංගා ද්‍රෝණි 03ක් ආශ‍්‍රීතව කි‍්‍රයාවට නැංවෙනු ඇති.

එල්ලංගා පද්ධති 16ක ග‍්‍රාමීය වැව් 325ක් හා පරිසර පද්ධති 75ක් ප‍්‍රතිස්ථාපනය කෙරෙන අතර දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය යටතේ ග‍්‍රාමීය වැව් 325ක් ආශි‍්‍රතව හෙක්ටයාර් 9750ක වී ගොවිතැන වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එමෙන්ම සුළු පරිමාණ ගොවීන් 5,20,000කට කෘෂි කාලගුණික උපදෙස් ලබාදීම හා ගොවි කාන්තාවන් 16,677ක් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයට යොමු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Your Comments