ගුරුකන්ද විහාරයේ CCTV සවිකිරීමට මුලතිව් පොලීසියෙන් බාධා
රොමේෂ් මධුෂංක - වන්නි / සුනිල් හරිස්චන්ද්‍ර - ඇඹිලිපිටිය

23

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ CCTV කැමරා සවිකිරීමේදී මුලතිව් පොලිස් නිළධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට අද (16) දින නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර මහතා පවසනවා.

එහිදී තාවකාලික භාරකරු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“ලොකු හාමුදුරුවෝ පිරිවෙ‍නේ වැඩකටයුක්තකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාර‍ය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලිසියේ කට්ටියක් ආවා. ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවී කැමරා හයි කරන්න බෑ කියලා. වහාම හයි කරපුවා ගලවන්න කියලා. මට කිව්වා ඔයා පන්සල බලා ගන්නවා නම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තියන්න” කියලා

සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව ලේකම් මානෙල් කරුණාරත්න මහතා පවසා සිටියේ තමන්ටද පන්සල් භූමියේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබා දී විහාරයේ සිසිටිවි කැමරා ගලවා දැමීමට කටයුතු කරන ලෙසටත් එය අධිකරණ නියෝගයක් බවටත් පැවසූ බවයි.

ගුරුකන්ද විහාරයේ සියලු නඩු වවුනියාව මහාධිකරණයෙන් අවසන් කිරීමත් සමග කුමන අධිකරණ නියෝගයක් යටතේ සී.සී.ටී.වී ඉවත් කිරීමට පොලීසියෙන් නියෝග කර සිටින්නේද යන්න තමන් නොදන්නා බවත් මීට පෙරද පන්සල් භූමියේ සී.සී.ටී.වී සවි කල අවස්ථාවේදී ගලවා දැමුනු අතර පනසල් භූමිය තුල සිදුවන සත්‍ය රටට පෙන්වීම සඳහා පන්සල් ආවාසය තුල සී.සී.ටී.වී. සවි කළ අවස්ථාවේදී මෙලෙසින් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කිරීම දැඩි අසාධාරණයක් මෙන්ම කනගාටුවට කරුණක් බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද මේ සම්බන්ධයෙන් අද(16) ඇඹිලිපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මේ කරුණ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර බවයි. එහිදී උන් වහන්සේ පවසා සිටියේ පොලිසිය අන්තවාදීන්ගේ පාර්ශ්වය රැකීමට උත්සාහයක නිරත වෙමින් සිටින බවයි. එසේම සෝභිත හිමියන් විමසා සිටියේ ගුරුකන්ද විහාරස්ථානයේ නායක හිමියන්ට ආරක්ෂාවක් ඇත්ද යන්නයි. පොලිසිය අනුගමනය කරනු ලබන මෙම අත්තනෝමතික ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු කරන ලෙසටද උන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

Your Comments