ඛනිජ තෙල් සංස්ථා නොසන්සුන්කාරී සිද්ධිය : දෙදෙනාම යළි රිමාන්ඩ්

39


දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා සහ ආරක්ෂක නිලධාරියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව සැකකරුවන ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 28 වනදා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුකාරී තත්ත්වය හමුවේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වෙමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා ද ලබන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාර ආරක්ෂක නිලධාරිගේ පාර්ශවයෙන් කළ ඇප ඉල්ලීම පිළිබද නියෝගය ලබන 18වනදාට ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.

ඛනිජ තෙල් හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගම්පොළ – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු පියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වනදා එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග මහතා ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාමට තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ මෙම නොසන්සුකාරී තත්ත්වය හට ගත්තා.

Your Comments