කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක් ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කෙරෙයි

23

ශ්‍රි ලංකා භූමියට අලු‍තින් එක්වන කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් අද පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෙරට චීන තානාපතිවරයාගේ සහභාගීත්වයෙන්.

කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක භූමි ප්‍රදේශයක් කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භූමි භාගයට එක්වීම සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද අද නිකුත් කෙරුණා.

මෙහිදී කොළඹ වරාය නගරය ආයෝජකයින් සඳහා විවෘත කරමින් එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රටට ලබාගත හැකි ක්‍රමවේදයක් ද ආරම්භ කෙරෙන බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

කොළඹ වරාය නගරය සඳහා මුල්ගල තැබුණේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරන සමයේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදින චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කිරිමට ඉදිරිපත් වූයේ චීනයේ CHEC පෝර්ට් සිටි කලම්බෝ සමාගමයි.

ඒ අනුව කොළඹ වරාය සහ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අතර හෙක්ටයාර 233ක මුහුදු ප්‍රදේශයක් ගොඩකිරිමට සැලසුම් කෙරුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කරනුයේ චීන සමාගමයි.

ඒ හේතුවෙන් එවක චීනයට හෙක්ටයාර 20ක් සින්නක්කරව ලබාදීමටරජය එකඟත්වය පළකළා.

කෙසේ වෙතත් 2015 වසරේ බලයටපත් යහපාලන රජය මෙහි වැඩ කටයුතු තාවකාලිකව නතර කළේ යළි පරිසර දත්ත වාර්තා කැඳවා මුල් ගිවිසුමද සංශෝධනය කරවීමටයි.

ඒ යටතේ ගොඩකිරිමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 දක්වා ඉහළ දැමුණා.

ඒ සමගම චීන සමාගමට ලබාදී තිබු හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116 දක්වා භූමි ප්‍රමාණයක් ලබා දෙන්නේ 99 අවුරුදු බදු පදනම යටතේ.

කොළඹ වරාය නගරයේ දිය කඩනයේ දිග කිලෝමිටර් 3.2 ක්.

ඒ සඳහාභාවිතාකර ඇත්තේ කලුගල් සහ කොන්ක්‍රීට් කුට්ටි.

භූමිය ගොඩකිරිම සඳහා මුහුදු වැලි කියුබික් මීටර මිලියන 65ක් යොදාගැනුණා.

එහි ගොඩනැගිලි ඉදිකිරිම් කටයුතු කළහැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 178ක්.

එම භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 116කුයි චීන සමාගමට ලබා දී ඇත්තේ.

ඉතිරි හෙක්ටයාර 62 බදු දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින්.

කොළඹ වරාය නගරයෙන් ශ්‍රී ලංකාවට එක්වුණු වර්ග කිලෝමිටර 2.6ක් හෙවත් හෙක්ටයාර 269ක් යටතේ මහා මාර්ග, විදුලිය, ජලය සහ මල ප්‍රවාහන පද්ධති සකස් කිරීමද මෙම ඉදිකිරිම් සමාගම විසින් සිදුකිරිමට නියමිතයි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරය යටතේ පැවරෙන භූමියේ ඉඩම් ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දේසි කිරිමට අයිතිය හිමිවින අතර චීන සමාගමට හිමිවන හෙක්ටයාර 116ක භූමිය ඔවුන්ටද ප්‍රතිබදු දීමට අවස්ථාව හිමිවනවා.

Your Comments