කොරියාව ශ්‍රී ලංකාවට ගෙන ආ දේ

13

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. (Liquefied natural gas) තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සහ විදුලිබල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කොරියාවේ අවධානය යොමුව තිබෙනවා.

සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බදධයට ස්ථිරසාර පිළියම් සෙවීම මූලික අරමුණ කරගනිමින්, කොරියානු තානාපති Lee Heon මහතා ඒ අනුව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්චාවකට එක්වුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුව පැවති අතර දෙරටට විශේෂිතවූ කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

දිනෙන් දින වර්ධනය වන ජනගහනයත්, තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් ලෝකයේ බලශක්ති ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බවත්, අප සතුව පවතින්නාවූ සීමිත සම්පත් හමුවේ ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවීමට නියමිත බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් ඇතිවීම අනිවාර්යය බවත්, එම ගැටලු සහගත තත්ත්වයෙන් මිදීමටනම් අප ස්ථිරසාර විසඳුමක් සෙවීමට පෙළඹිය යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, සූර්ය සුළං ආදි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් මේ වනවිට ශ්‍රී ලංකාව සැලකියයුතු මට්ටමකට පැමිණ ඇති බවත් ප්‍රකාශ කළා.

කොරියානු තානාපති අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන පුනර්ජනනීය විදුලි ජනන ක්‍රමෝපායන් හැරුණකොට, විදුලි උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදාගැනීමේ ඇති වැදගත්කම තානාපතිවරයා පැහැදිළි කළා.

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධන ක්‍රියාදාමයට කොරියානු රජයේ සහාය අපේක්ෂා කරන බවත්, ඒ තුළින් කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබඳතා තවතවත් තහවුරු කරගැනීමට අදහස් කරන බවත් සඳහන් කළ අමාත්‍ය කරුණානායක මහතා, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනාගනිමින් ආයෝජනය කිරිමට කොරියානු රජය වෙත විවෘත ආරාධනයක් කළා.

Your Comments