‘කොටි ලුතිනන් කර්නල්’ තිලීපන් වෙනුවෙන් පාගමනකුත් සංවිධාන කරලා ! (PHOTOs)

31

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වූ තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 32 වන ගුණ සැමරුම වෙනුවෙන් වව්නියාවේ සිට යාපනය දක්වා පා ගමනක් පවත්වා තිබෙනවා.

වව්නියාව නගරසභාව ඉදිරිපිටින් ඊයේ (21) දින ආරම්භ වූ මෙම පාගමන ලබන 24 වනදා යාපනයට ලඟා වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

ස්වේච්ඡා සංවිධානයක් විසින් සංවිධානය කොට තිබූ මෙම පාගමනට උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය විසින්ද සහය ලබා දී තිබෙනවා.

“…තිලීපන් එදා නිරාහාරව සිටිමින් මිය ගියේ…
ඒ දෙමළ ජනතාව වෙනුවෙන්.
එහෙයින් එවැනි අයෙකු සිහිපත් කොට පාගමන සංවිධානය කළා…”

සංවිධායකයින් එලෙසින් පවසා සිටියා.

1987 සැප්තැම්බර් මස 15 වනදා තිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරුයි.

උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියත් තිලීපන් උපවාසය අත් හැරීයේ නැහැ.

සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී මිය ගියා.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී තිබුණා.

එවකට ඔහු හැඳින්වූවේ ලුතිනන් කර්නල් තිලීපන් ලෙසින්.

දිලීපන් (තිලීපන්) යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිට, එල් ටි ටි සංවිධානය වෙත එක්ව සිටියා.

පාමගමන වෙනුවෙන් එක් වු දෙමළ මහජන පෙරමුණ නියෝජිතයින් පැවසූවේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ දිලීපන් සැමරිය යුතු පුද්ගලයෙකු වන අතර, සිංහල දේශයේ ජනතාවට පවතින නිදහස දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදිය යුතු බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදීම, උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කරදෙන ලෙසටද පාගමනට එක්වූවන් ඉල්ලීම් කළා.

(වවුනියාව – මාධව කුලසූරිය/වන්නි රොමේෂ් මධුෂංඛ)

Your Comments