කළගෙඩිහේන ‘ඩිෆෙන්ඩර්’ සිද්ධියේ සිව්දෙනෙකු රිමාන්ඩ්

50

කළගෙඩිහේන ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් සහ ජිප් රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් 22 දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරෙනු ඇති.

වෑන් රථයකට පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ WP CAD 8850 දරණ ඩිෆෙන්ඩරය මහරගම ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පෙරේදා දිනයේ දෙදෙනෙකු අත්ඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් අනතුරුවයි.

ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තවත් සැකකරුවෙකු අද දහවල් කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔහු තල්ගස්දොල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්.

එම සැකකරුට අමතරව, අද පෙරවරුවේ දී ද තවත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

එම සැකකරු කළුතර – කිතුලාව – ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.

වෑන් රථයකට පහර දී ඇත්තේ ප්‍රභූ රථයක් ලෙස හැඟවෙන පරිදි ජීප් රියකින් සහ ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් බවටයි සමාජ මාධ්‍යවල වාර්තා කර තිබුණේ.

ප‍්‍රාඩෝ රථයේ හිමිකරු මෙරට ප‍්‍රසිද්ධ උපකාරක පංති ගණිත ගුරුවරයෙකු බවත්, ඔහු ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවටත් සමාජ මාධ්‍ය දක්වා සිටියා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ WP CAD 8850 දරණ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය ගාල්ලේගොඩ, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල ශ්‍රී සම්පත් චන්දුල අමරතුංග යන අයටත්, WP CAG 0550 දරණ සුදු පැහැති ප්‍රාඩෝ රථය ගාල්ලේගොඩ, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයටත් අයත් බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. 

Your Comments