කසල ආනයනයට සම්බන්ධ පාර්ශව රැසක් අද පාර්ලිමේන්තුවට කැඳවයි

23

මහා බ්‍රිතාන්‍යයෙන් සායනික අපද්‍රව්‍ය ඇතුලු කසළ තොගයක් මෙරටට ගෙනඒමට අදාළ සියලු පාර්ශව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ආර්ථීක කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වරාය, රේගුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු සියලුම පාර්ශව අද පස්වරු 2 ට පාර්ලිමේන්තුවට කැඳවා ඇති බවයි කාරක සභාවේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කලේ.

මීට අදාළ වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කියාසිටියා.

මේ අතර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝග කර තිබෙනවා.

විදේශ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය ලබා දී ඇති බව සදහන්.

දැනට අනාවරණ වී ඇති පරිදි මෙරට සමාගමක් මගින් නාගරික අබලි ද්‍රව්‍ය මෙලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර ඉරිදා සහ පොහොය දිනවලදී උපකාරක පංති පැවැත්වීම සීමා කිරීමට අදාළ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය සභාගත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය විජයදාස රාජපක්ෂ මහතා විසින්.
ඊට අනුව ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්විය හැකි වනුයේ පස්වරු 3 න් පසුවයි.

එම නියෝග කඩකරමින් උපකාරක පංති පැවැත්වීම හෝ ඊට පහසුකම් සලසන පුද්ගලයන්ට රුපියල් දසදහසකට නොඅඩු දඩයක් පැණවිය යුතු බවටද මෙම යෝජනාවෙන් නිර්දේශ කර තිබෙනවා.

Your Comments