කඩා වැටී ඇති කොටස් වෙළෙඳ පොළ යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් රජය මැදිහත් වනවා

6

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ, අද පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි.
පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වූ බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
ඒ හේතුවෙන් එම සමාගම්වල සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වූ බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමය මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.
කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සීඝ්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහාත් කඩිනමින් ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අදාල සියළු පාර්ශවවලට පැවරෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
රජයක් වශයෙන් ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ අද පැවති හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
ආන්දෝලනාත්මක හඩ පට හෙළිදරව්ව හමුවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳීමට අගවිනිසුරුවරයා ද ක්‍රියා කරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පල කළා.
මේ අතර, යුක්ති සහගත, සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් රටතුළ යළි ස්ථාපනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ, දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ද එහිදී අදහස් පළ කළා.

Your Comments